සිංහල-සිංහල ශබ්දකෝෂය

සිංහල ශබ්දකෝෂ කාර්යාංශය යටතේ සිදුකෙරෙන ප්‍රමුඛතම කර්තව්‍යය මහා සිංහල ශබ්දකෝෂ සම්පාදනයයි. අකාරාදිය අනුව පෙළ ගැස්වූ සිංහල වචන සඳහා ව්‍යාකරණ ප්‍රවර්ගයන්ට අනුකූලව නෛරුක්තිකව පුළුල් අර්ථ සැපයුම මෙයින් සිදුවේ. මහා සිංහල ශබ්දකෝෂ යන නාමයෙන්ම හැ‍ඟෙන පරිදි දෙලක්ෂයකට අධික වචන සංඛ්‍යාවකට අරුත් සපයමින් සම්පාදනය වූ මෙය 1992 වර්ෂයේදී කාණ්ඩ 26 කින් හා කලාප 46 කින් යුතුව අවසන් කෙරිණි. ඉන්පසු එහි සංශෝධිත කලාපයන් සම්පාදනය කිරීම ආරම්භ වූ අතර මේ වන විට ස්වර අවසාන සංශෝධිත කලාප 5 ක් නිකුත් වී ඇති අතර 6 වන කලාපය මුද්‍රණයෙන් එළි දැක්වීම සඳහා කටයුතු සම්පාදනය වෙමින් පවතී.

සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂය

සිංහල ශබ්දකෝෂ සම්පාදන ව්‍යාපෘති ආරම්භයේ එහි පළමු ව්‍යාපෘතිය වශයෙන් ආරම්භ වූයේ සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂ සම්පාදන කාර්යයයි. සිංහල භාෂාව ජාත්‍යන්තරයට ගෙන යෑමත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ශාබ්දිකයන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීමටත් මෙම ශබ්දකෝෂයෙන් මනා පිටිවහලක් ලැබේ. මෙම ව්‍යාපෘතියේ කලාප 28 ක් දක්වා කලාප නිකුත් වී ඇත.

සිංහල-දෙමළ-ඉංග්‍රීසි ත්‍රෛභාෂික ශබ්දකෝෂය

ත්‍රෛභාෂික ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියට සමගාමීව සිංහල ශබ්දකෝෂ කාර්යාංශය මගින් ද සිංහල- දෙමළ - ඉංග්‍රීසි ත්‍රෛභාෂික ශබ්දකෝෂයක් සම්පාදනය කෙරේ. ඉතා පුළුල් ව්‍යාපෘතියක් ලෙස සැලකිය හැකි මෙහි පළමුවන වෙළුමෙහි සිංහල-දෙමළ-ඉංග්‍රීසි අර්ථ දක්වා අවසන් කොට ඇති අතර දැනට මුද්‍රණාලයේ සෝදුපත් බැලීමේ කටයුතු සිදුකරමින් පවතී.

සිංහල සංක්ෂිප්ත ශබ්දකෝෂය

පොදු පාඨකයින් බොහෝදෙනෙකුට පෞද්ගලිකව මිලට ගෙන පරිහරණය කළහැකි පරිද්දෙන් සම්පාදනය වූ මෙහි සිංහල වදන් සදහා කෙටි අරුත් සපයයි. සංක්ෂිප්ත ශබ්දකෝෂය වෙළුම් දෙකක් වශයෙන් දැනට සම්පූර්ණයෙන් නිකුත් වී ඇත. එහි සංශෝධිත I වන ලඟදීම නිකුත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතී.