ඉන්දු ආර්ය භාෂා සමූහයේ විශිෂ්ටතම භාෂාවක් ලෙස විද්වත් සම්භාවනාවට පාත්‍ර වූ සිංහල භාෂාව වර්තමාන ශ්‍රී ලාංකිකයන් බහුතරයකගේ ලිඛිත හා කථා ව්‍යවහාර භාෂාව වශයෙන් භාවිත වේ. වසර දෙදහස් පන්සියයක දීර්ඝ කාල වකවානුවක් තුළ විවිධ විෂමතා, වෙනස්වීම් හා සංස්පර්ෂයන් හමුවේ සකස් වූ සිංහල භාෂාව සම්බන්ධයෙන් ඉහළ ම ශාස්ත්‍රීය විමර්ශනය වන්නේ සිංහල ශබ්දකෝෂයයි.

ඉංග්‍රීසි පාලන සමයේ දී රාජ්‍ය අනුග්‍රහය ඇතිව ආරම්භ වූ සිංහල ශබ්දකෝෂ සම්පාදනය අඛණ්ඩ ක්‍රියාවලියක් ලෙස ක්‍රියාත්මක වේ. රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව යටතේ පැවති මෙම කාර්යය පසුව ලංකා විශ්ව විද්‍යාලයට අනුබද්ධ කෙරිණ. පසුව 1972 දී අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංයට මේ විෂය පවරන ලදුව ලංකා සංස්කෘතික මණ්ඩලය විසින් පාලනය විය. අනතුරුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට අයත් ආයතනයක් ලෙස සිංහල ශබ්දකෝෂ කාර්යාලය යන නමින් පුළුල් පර්යේෂණ කර්තව්‍යයක් ලෙස ක්‍රියාත්මක වෙයි. නූතන ශබ්දකෝෂකරණයට (Lexicography) අනුකූල ව ලොව කවර හෝ නූතන ශබ්දකෝෂයකට නොදෙවෙනි ඉහළම ප්‍රමිතියකින් යුතුව සම්පාදනය කෙරෙන මෙය නෛරුක්තික ශබ්දකෝෂයකි. අකාරාදි පිළිවෙළින් පෙළ ගැස්වූ වචනවල මූලය සොයා යමින් ඒ අනුව ඒ ඒ වචනයේ ව්‍යාකරණ ප්‍රවර්ගය හා අර්ථය නියමාකාරයෙන් දැක්වීමට උපරිම ලෙස දරන්නා වූ වෑයමක් වශයෙන් ද සිංහල ශබ්දකෝෂය හැඳින්විය හැකි වේ. හුදෙක් පර්යාය වචන සමූහයක් පමණක් ඉදිරිපත් කරමින් ශබ්දකෝෂ ග්‍රන්ථ ගණයට වැටෙන බොහොමයක් ශබ්දකෝෂ අතුරෙන් සිංහල ශබ්දකෝෂය විශේෂත්වයක් ගන්නේ එභෙයිනි. වර්තමාන භාෂා ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන කරුණක් නම් ඇතැම් විද්වතුන් තම පෞද්ගලික අභිමතය පරිදි මෙකී ශබ්දකෝෂ සම්පාදනයේ යෙදී සිටීමයි. එම ශබ්දකෝෂවල එහි සම්පාදකයා විසින් පෞද්ගලිකව භාෂාව සම්බන්ධයෙන් දරන මතවාදයක් ද ඇතැම් විට ඔහු අයත් භාෂා ගුරුකුලයට අයත් මතිමතාන්දර ද ගැබ් විය හැකිය. එභෙත් අපගේ සිංහල ශබ්දකෝෂය එවැනි පුද්ගල බද්ධ සීමිත භාෂා දැනුම් ක්ෂේත්‍රයකට සීමා වූවක් නොවේ. විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් උසුලන ඒ ඒ විෂයයන් පිළිබඳ ප්‍රාමාණිකයන්ගෙන් සමන්විත විද්වත් පිරිසකගේ උපදේශකත්වයෙන් සිංහල ශබ්දකෝෂය සම්පාදනය කෙරේ.

ආරම්භයේ සිට මෙන් ම, වර්තමානයේ ද ප්‍රධාන කර්තෘවරයා ප්‍රමුඛ කර්තෘ මණ්ඩලය උපාධිධාරීන්ගෙන් මෙන් ම ශබ්දකෝෂකරණය පිළිබඳ විදේශ විශ්වවිද්‍යාලයන්හි පර්යේෂණ කටයුතුවල නියැළුණු විද්වතුන්ගෙන් ද සමන්විත වෙයි. මෙම ශබ්දකෝෂයෙහි ශාස්ත්‍රානුකූල භාවයටත් විධිමත් භාවයටත් එය මනා පිටිවහලකි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ අනුගමනය කෙරෙන භාෂා ප්‍රතිපත්තීන්ට අනුකූල ව සම්පාදනය කෙරුණු ව්‍යාපෘතින් ද දැනට සිංහල ශබ්දකෝෂ කාර්යාලයෙහි ක්‍රියාත්මක වේ. ඒ අනුව සිංහල-සිංහල සහ සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂයන්ට අමතර ව සිංහල-දෙමළ-ඉංග්‍රීසි‍ ත්‍රෛභාෂික ශබ්දකෝෂයක් ද සම්පාදනය වෙමින් පවතී.

සිංහල භාෂාවට අයත් කවර හෝ වචනයක අර්ථ නිර්ණය පිළිබඳ අධිකාරි බලය හිමිවන්නේ සිංහල ශබ්දකෝෂයටය. නෛතික වශයෙන් හෝ වෙනත් කවර කවර කාර්යයකදී හෝ වචනයක අර්ථකථනය සම්බන්ධයෙන් වන ගැටලු නිරාකරණය කෙරෙන්නේ සිංහල ශබ්දකෝෂයේ අර්ථ විග්‍රහයන්ට අනුවය. දැනට සිංහල-සිංහල ශබ්දකෝෂයේ සංශෝධිත හා ප්‍රතිසංශෝධිත වචනවල හා අර්ථ විග්‍රහයන්හි සිදුවන වෙනස්වීම් සඳහා භාෂාව යාවත්කාලීන කිරීම මෙම සංශෝධිත කලාප නිකුත් කිරීමෙන් අරමුණු කෙරේ. ගෝලීයකරණය තුළ දිනෙන් දින ලොව පහළ වන නවීන විෂයන් හා අනුකූල ව සිංහල භාෂාව පෝෂණය කරමින් ජීවි ගුණය රැක ගැනීමට සිංහල ශබ්දකෝෂයෙන් ඉටු වන්නේ ප්‍රබල මෙහෙයකි.